ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී පරිපාලන ඉතිහාසයේ සිදු වූ බලය විමධ්‍යගත කිරීමේ සුවිශේෂීම සන්ධිස්ථානය වන්නේ පළාත් සභා ක්‍රමය ආරම්භ කිරීමයි. එතෙක් මධ්‍යම රජය සතුව පැවති ව්‍යවස්ථාදායක, විධායක හා සංවර්ධන බලතල අතරින් කොටසක් පළාත් මට්ටමින් පිහිටුවන ලද, සෘජු මහජන ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ප්‍රජාතාන්ත්‍රික ආයතනයක් වෙත බෙදා හැරීම මෙහි මූලික අරමුණ විය.
නීතිමය හා ව්‍යවස්ථාපිත පදනම
1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 වර්ෂයේදී එක් කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ 1987 අංක 42 දරන පළාත් සභා පනත මගින් 154(අ) ව්‍යවස්ථාවේ 8 වන උපලේඛනයේ දක්වා ඇති පළාත් සඳහා පළාත් සභා පිහිටුවීමේ බලය ස්ථාපිත කරන ලදි.
ඒ අනුව 1988 වර්ෂයේදී පළාත් සභා ක්‍රමය ආරම්භ වූ අතර, දිවයිනේ ජාතික මට්ටමේ ව්‍යවස්ථාදායකය ලෙස පාර්ලිමේන්තුවත්, උප-ජාතික මට්ටමේ ව්‍යවස්ථාදායකය ලෙස පළාත් සභාවත් ක්‍රියාත්මක වීම ආරම්භ විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(අ) වගන්තිය
රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, පළාත් සභා ලැයිස්තුවට අයත් විෂයයන් සම්බන්ධයෙන් පළාත් සභාව පිහිටුවා ඇති ප්‍රදේශයට අදාළ වන පරිදි පළාත් සභා ප්‍රඥප්ති (Statutes) සම්පාදනය කිරීමේ පූර්ණ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(උ) වගන්තිය මගින් පළාත් සභාව වෙත පවරා ඇත.
මෙම ප්‍රඥප්ති පළාත තුළ පාර්ලිමේන්තු පනතක් හා සමාන නීතිමය වලංගුභාවයක් උසුලන අතර පළාත් සංවර්ධනය සහ පරිපාලනය උදෙසා නීතිමය රාමුව සකස් කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(උ) වගන්තිය
පළාත් සභා මන්ත්‍රී ධූරය සඳහා නුසුදුසුකම්
යම් තැනැත්තෙකු පහත සඳහන් කිසියම් කරුණකට යටත් වන්නේ නම්, ඔහු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ සභාවේ අසුන් ගැනීමට හා ඡන්දය දීමට සුදුස්සෙකු නොවේ:
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ව්‍යවස්ථාවේ (අ) සිට (උ) දක්වා ඡේදවල දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් සඳහා වන කවර හෝ නුසුදුසුකමකට යටත් වීම.
පළාත් පාලන ආයතනයකට මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමකදී ඡන්දය දීමට යම් නීතියක් යටතේ නුසුදුස්සෙකු වී සිටීම.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටීම.
වෙනත් යම් පළාත් සභාවක මන්ත්‍රීවරයෙකු ලෙස ධූරයක් දැරීම.
පළාත් සභාවකට තෝරා පත් කර ගනු ලැබීම පිණිස පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකකට වැඩි ගණනකින් මන්ත්‍රීධූර අපේක්ෂකයෙකු වශයෙන් නාමයෝජනා ලැබ සිටීම.
පළාත් සභා මන්ත්‍රී ධූරයක අසුන හිස්වීම
1987 අංක 42 දරන පළාත් සභා පනත අනුව පහත අවස්ථාවලදී මන්ත්‍රී ධූරයක අසුන හිස් වූ බවට ප්‍රකාශයට පත් කළ හැකිය:
දින 90ක් නොපැමිණීම:
පළාත් සභාවේ අවසරය නොලබා අනුක්‍රමික දින අනූවක (90) කාලයක් සභාවේ සියලු රැස්වීම්වලට සහභාගී නොවුවහොත්, ඔහුගේ අසුන හිස් වී ඇතැයි සභාවට ප්‍රකාශ කළ හැකිය (සභාව වාරාවසාන කළ කාලයන් මෙයට ඇතුළත් නොවේ).
මන්ත්‍රීවරයා අභාවප්‍රාප්ත වීම:
ක්‍රියාකාරී සභික ධූරය හොබවන අතරතුර මන්ත්‍රීවරයෙකු අභාවප්‍රාප්ත වූ විට එම අසුන ක්ෂණිකව හිස්වේ.
පක්ෂ සාමාජිකත්වය අහිමිවීම හෝ ඉල්ලා අස්වීම:
තමන් පත් වූ දේශපාලන පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම හෝ ස්වේච්ඡාවෙන් සභාපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපියක් භාරදීම මගින් අසුන හිස්වේ.