// හැඳින්වීම

හැඳින්වීම

පළාත් සභාවක අරමුණු

මෑත ඉතිහාසයේ අප රටේ සිදු වූ බලය විමධ්‍යගත කිරීමේ සුවිශේෂී අවස්ථාවක් ලෙස පළාත් සභා ක්‍රමය ආරම්භ කිරීම දැක්විය හැකිය. මෙම ක්‍රමය හඳුන්වාදීමේ ප්‍රධානතම අරමුණ වන්නේ, මෙම ක්‍රමය ඇති වීමට පෙර තිබූ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමේ ආයතනවලට නොතිබුණු, එතෙක් ආණ්ඩුව සතුව පැවති ව්‍යවස්ථාදායක, විධායක් සහ අධිකරණයට බලතල අතරින් කොටසක් පළාත් මට්ටමින් පිහිටුවන ලද, මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත්, පළාත් සභාව නම් වූ ප්‍රජාතාන්ත්‍රික ආයතනයට බෙදා හැරීමයි.

මෙම පළාත් මට්ටමින් ඇති කරන ලද පළාත් සභා ක්‍රමය මහජන නියෝජිතයින්ගෙන් සමන්විත වන අතර එමගින් පළාතේ සංවර්ධනය සහ ජනතා සුභ සිද්ධිය උදෙසා විශාල කාර්යභාරයක් සිදු කිරීම අපේක්ෂා කෙරේ.

 

පළාත් සභාව පිහිටුවීම

1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987 වර්ෂයේදී ගෙනෙන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ, 154 අ ව්‍යවස්ථාවේ 8 වන උපලේඛනයේ දක්වා ඇති පළාත් 9 ක පළාත් සභා 8 ක් පිහිටුවීමේ නීතිමය බලය ස්ථාපිත කර ඇත.

ඒ අනුව, 1988 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය පරිපාලනයේ විශාල වෙනසක් ඇති කරමින් පළාත් සභා ක්‍රමය ආරම්භ විය.

එතෙක් දිවයිනේ එකම ව්‍යවස්ථාදායකය වශයෙන් පැවතුණු පාර්ලිමේන්තුව ජාතික මට්ටමේ ව්‍යවස්ථාදායකය ලෙසත්, පළාත් සභාව උප ජාතික මට්ටමේ ව්‍යවස්ථාදායකයක් ලෙසත් ක්‍රියාත්මක වීම පළාත් සභා ආරම්භයත් සමග සිදු විය.

 

පළාත් සභාවක් සතු ව්‍යවස්ථාදායක බලය

රටේ උත්තරීතර නීතිය වන්නා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව එම පළාත් සභාව පිහිටුවනු ලැබ ඇති ප්‍රදේශයට අදාළ වන සේ පළාත් සභා ප්‍රඥප්ති සෑදීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(උ) වගන්තිය මගින් පළාත් සභාව වෙත ලබා දී ඇත‍.

 

පළාත් සභා මන්ත්‍රීවරයෙකු වීමට සඳහා

යම්කිසි තැනැත්තෙක්,

 

 

(අ)       ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ව්‍යවස්ථාවේ (අ), (ඇ), (ඈ), (ඉ), (ඊ) සහ (උ) ඡේදවල දක්වා ඇති කවර හෝ නුසුදුසුකමකට යටත් වේ නම්,

 

(ආ)      පළාත් පාලන ආයතනයකට මන්ත්‍රීවරයන් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමකදී ඡන්දය දීමට යම් නීතියක් යටතේ නුසුදුස්සකුව සිටියේ නම්,

 

(ඇ)      පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වේ නම්,

 

(ඈ)      වෙනත් යම් පළාත් සභාවක මන්ත්‍රීවරයෙකු වේ නම්,

 

(ඉ)       පළාත් සභාවකට තෝරා පත් කර ගනු ලැබීම පිණිස පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් හෝ එකකට වැඩි ගණනක් විසින් මන්ත්‍රීධූර අපේක්ෂකයෙකු වශයෙන් නාම යෝජනා කරනු ලැබ සිටී නම්,

 

ඒ තැනැත්තා පළාත් සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට හෝ ඒ පළාත්සභාවේ අසුන් ගැනීමට සහ ඒ පළාත් සභාවේ ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවනු ඇත.

 

එමෙන්ම පළාත් සභා මන්ත්‍රීවරයෙකු විසින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උපලේඛනයේ දැක්වෙන ප්‍රතිඥාව දී ඊට අත්සන් තබන තෙක් හෝ දිවුරුම් දී ඊට අත්සන් තබන තෙක් හෝ මන්ත්‍රීවරයෙකු වශයෙන් පළාත් සභාවේ අසුන් ගැනීම හෝ එහිදී ඡන්දය දීම නොකළ යුතුය.

 

 

 

පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ අසුන හිස්වීම

පළාත් සභාවක මන්ත්‍රීවරයෙකු සභාවේ අවසරය නොලබා දවස් අනූවක කාලයක් සභාවේ සියළු රැස්වීම්වලට සහභාගී නොවුවහොත්, ඔහුගේ අසුන හිස් වී ඇතැයි සභාව විසින් ප්‍රකාශයට පත් කළ හැක්කේය.

එසේ වුවද, එකී දවස් අනූවේ කාලය ගණන් ගැනීමේදී අනුක්‍රමික දවස් හතරකට වැඩි කාලයක් සඳහා සභාවේ වාරාවසාන කර ඇති කාලයක් ගණන් නොගත යුතුය.

තවද, පළාත් සභා මන්ත්‍රීවරයෙකු මිය යාම, තම දේශපාලන පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම යන අවස්ථාවලදී අසුන හිස්වේ.

 

 


--------------------

දුරකථන නාමාවලිය-2024

----------------------