// සභාවේ කාර්යය

0.1 පෙත්සම්

සභා රීති අංක 18 යටතේ සඳහන් ප්‍රතිපාදන අනුව බස්නාහිර පළාතේ ජීවත් වන ඕනෑම පුද්ගලයෙකුට ගරු. මන්ත්‍රීවරයෙකු හරහා පෙත්සමක් පළාත් සභාවට ඉදිරිපත් කළ හැක. මේ සඳහා සම්මත ඉල්ලුම්පත්‍රයක් වර්තමානයේ භාවිතයේ පවතී.

0.2 වාචික හෝ ලිඛිත පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්ණ

යම් අමාත්‍යවරයෙකුගේ විෂය පථය තුළ ඇති කාරණාවලට අදාළව ඕනෑම මන්ත්‍රීවරයෙකුට ප්‍රශ්න විමසිය හැකිය.එම ප්‍රශ්න වාචික පිළිතුරු අපේක්ෂිත හෝ ලිඛිත පිළිතුරු අපේක්ෂිත විය හැකිය. ප්‍රශ්නයක් පැහැදිලි කිරීම හා/ හෝ විවාදයක් සඳහා අවස්ථාවක් නොකර ගත යුතුය. ප්‍රශ්නය යොමු කළ යුත්තේ සභා ලේකම්වරයාට වන අතර, ඔහු විසින් එය අදාළ අමාත්‍යවරයාට ඉදිරිපත් කරනු ලැබේ. එක් සභා රැස්වීමක න්‍යාය පත්‍රය ප්‍රශ්න 15කට වඩා ඇතුළත් නොවිය යුතුය. කවර මන්ත්‍රීවරයෙකුගේ නමින් හෝ එක් දිනකට ප්‍රශ්න 3කට වඩා න්‍යාය පත්‍රයට ඇතුළත් නොවිය යුතුය.

 

ප්‍රශ්නයකට දෙන ලද පිළිතුරක් සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කර ගැනීමට අවශ්‍ය අවස්ථාවලදී, අතිරේක ප්‍රශ්න 3කට නොවැඩි සංඛ්‍යාවක් ඇසීමට මුල් ප්‍රශ්නය ඇසූ ගරු මන්ත්‍රීවරයාට හෝ වෙනත් මන්ත්‍රීවරයෙකුට හෝ හැකිය.

 

රැස්වීම් පැවැත්වෙන ඕනෑම දිනයකදී ප්‍රශ්න සඳහා පැය ½කට වඩා කාලයක් නොගත යුතුය.

0.3ප්‍රශ්ණ ඇසීම සඳහා ඇති සීමා

එක් ප්‍රශ්නයක් වචන 150කට නොවැඩි විය යුතු අතර, එය එක් විෂයකට පමණක් සීමා කළ යුතුය. තර්කයක්, අනුමානයෙන් බැසගත් තීරණයක්, ආරෝපිත චෝදනාවක්, අවඥා සහගත පදයක් ප්‍රශ්නයකට ඇතුළත් නොවිය යුතු අතර, අධිකරණයක විනිශ්චයකට භාජනය වෙමින් පවතින කරුණක් ගැන හෝ ප්‍රශ්නයක් සාකච්ඡා නොවිය යුතුය. යම් පුද්ගලයෙකුගේ රාජකාරී තත්වය සම්බන්ධයෙන් විනා ඔහුගේ චරිතය හා හැසිරීම සම්බන්ධව ප්‍රශ්න විමසීමක් නොකළ යුතුය. ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුකාරවරයෙකුගේ හෝ විනිශ්චයකාරවරයෙකුගේ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ හෝ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න විමසීමක් කළ නොහැකිය.

 

ප්‍රශ්න අසා ඇති මන්ත්‍රීවරයා නොපැමිණ සිටින්නේ නම්ඔහු විසින් බලය පවරන ලද වෙනත් මන්ත්‍රීවරයෙකුට හෝ එම ප්‍රශ්නය ඇසිය හැකිය.

 

සභාව කල් තබන අවස්ථාවේදී පොදු වැදගත්කමකින් යුත් කරුණක් සම්බන්ධයෙන් ප්‍රශ්න විමසීමට මන්ත්‍රීවරයෙකුට හැකිය. එවැනි ප්‍රශ්න අදාළ දින පෙරවරු 10.00ට ප්‍රථම පිටපත් 2කින් යුක්තව සභා ලේකම්වරයාට ඉදිරිපත් කළ යුතුය

0.4ශෝක ප්‍රකාශ

බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකුගේ හෝ හිටපු මන්ත්‍රීවරයකු‍ගේ හෝ බස්නාහිර පළාත් සභාවේ පළාත් ආණ්ඩුකාරවරයාගේ හෝ හිටපු ආණ්ඩුකාරවර‍යකුගේ හෝ ශ්‍රී ලංකාවේ ‍රාජ්‍ය නායකයකුගේ හෝ හිටපු ‍රාජ්‍ය නායකයකුගේ හෝ අභාවය පිළිබඳ  ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කළ හැකිය.

0.5නොපැමිණ සිටීමේ අවසරය පිළිබඳ යෝජනා

යම් මන්ත්‍රීවරයෙකුට සභා රැස්වීම් සඳහා නොපැමිණ සිටීමට අවශ්‍ය අවස්ථාවලදී එවැනි යෝජනාවක් ඔහු වෙනුවෙන් වෙනත් මන්ත්‍රීවරයකුට ඉදිරිපත් කිරීමට හැකිවන අතර, එම යෝජනාව දින 90 කට නොවැඩි කාලයක් සඳහා විය යුතුය.

0.6පෞද්ගලික පැහැදිලි කිරීම්

පෞද්ගලික පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන මන්ත්‍රීවරයෙකුට සභාපතිවරයාගේ පූර්ණ අනුදැනුම ඇතිව ඊට අවසරය ලබා ගත හැකිය. එහෙත් ඒ පිළිබඳ විවාදයක් ඇති නොවිය යුතුය.

0.7හදිසි යෝජනා හෝ වරප්‍රසාද ප්‍රශ්ණ

සභා වරප්‍රසාදයකට අදාළ යෝජනාවක් සියළු කාර්යයන්ට වඩා ප්‍රමුඛත්වය ලැබීමට අයිතියක් ඇති අතර, ඒ වෙනුවෙන් සභාවේ වැඩ කටයුතු අත්සිටුවීමටද පුළුවන. පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ කටයුතු කරගෙන යාමට අවහිරයක් වීම මන්ත්‍රීවරයෙකුගේ කථාවක් හෝ ඉන් කොටසක් වැරදි අයුරින් ජනමාධ්‍ය තුළින් ප්‍රකාශ කිරීම වරප්‍රසාද කඩ කිරීමක් වන්නේය. එවැනි වරප්‍රසාද කඩවීමක් ඇත්දැයි සොයා බැලීමට එම කාරණය සභා කටයුතු කාරක සභාවට යොමු කරනු ලැ‍බේ.

0.8ප්‍රඥප්ති සම්පාදනය

සභා රීති 37 යටතේ දැක්වෙන පරිදි අදාළ සහතිකයද සමග ප්‍රඥප්තියේ පිටපත් සභාවේ ලේකම්වරයා වෙත භාර දිය යුතුය.

 

සභාවේ ලේකම්වරයා විසින් ප්‍රඥප්තිය සභාපතිවරයා වෙත ‍ඉදිරිපත් කිරීමෙන් පසු ප්‍රඥප්ති ඉදිරිපත් කිරීමේදී බලපාන නීතිරීති වලට අනුකූල වන්නේදැයි සභාපතිවරයා විසින් තීරණය කළ යුතු අතර, එසේ අනුකූල වන්නේ නම් ප්‍රඥප්තිය න්‍යාය පත්‍රයට ඇතුළත් කරනු ලැබේ.

01. පළමුවර කියවීම

න්‍යාය පත්‍රයේ නියමිත අංකය සඳහන් කළ විට අදාළ අමාත්‍යවරයා විසින් හෝ වෙනත් අමාත්‍යවරයෙකු විසින් හෝ ප්‍රඥප්තියේ නම සඳහන් කොට එය ඉදිරිපත් කරන බව දැන්විය යුතුය. එවිට ලේකම්වරයා විසින් ප්‍රඥප්තියේ පූර්විකාව කියවිය යුතුය. මෙය ප්‍රඥප්තියක පළමුවනවර කියවීම වන්නේය.

02. දෙවනවර කියවීම  

ප්‍රඥප්තියක දෙවනවර කියවීම පළමුවන වර කියවීමේ දින සිට සතියක් ඉකුත් වී පසුව එළ‍‍ෙඹන දිනයක කළ යුතුය. 

ප්‍රඥප්තියක් දෙවනවර කියවීමේදී ඒ පිළිබඳව විවාදයක් ඇති විය හැකි අතර, එය ප්‍රඥප්තිය හා බැඳුණු ප්‍රතිපත්තිමය කරුණුවලට පමණක් සීමා විය යුතුය. දෙවනවර කියවීම අවසානයේදී බෙදීමක් ඇතිව හෝ නැතිව හෝ ප්‍රඥප්තිය සම්මත වන්නේ නම් එය සලකා බැලීම සඳහා සභාව පූර්ණ කාරක සභාවක් බවට පරිවර්තනය වීම පිණිස යෝජනා කිරීමට සභානායකවරයාට හෝ අමාත්‍යවරයෙකුට හෝ හැකිය.

සභාවේ පූර්ණ කාරක සභා අවස්ථාවේදී ප්‍රඥප්තියේ එක් එක් වගන්තිය වෙන් වශයෙන් ‍සාකච්ඡා කළ යුතු අතර, එහිදී සංශෝධන ආදිය ඉදිරිපත් කළ හැකි‍ වෙයි.

එවැනි සංශෝධන පිළිබඳ යෝජනාවක් ස්ථිර කිරීම අවශ්‍ය නොවේ. සියළුම වගන්ති සලකා බැලීමෙන් පසුව පූර්ණ කාරක සභාව යලිත් සභාවක් බවට පත්වේ.

03. 01. තුන්වනවර කියවීම  

තුන්වනවර කියවීම සඳහා අමාත්‍යවරයෙකු විසින් යෝජනා කළ යුතු අතර එයට සංශෝධන ඉදිරිපත් කළ නොහැකි වේ. 

බෙදීමක් ඇතිව හෝ නැතිව තුන්වන වර කියවීම සම්මත වීමෙන් පසු සභාපතිවරයා එය නීත්‍යනුකූලව සම්මත වූ ප්‍රඥප්තියක් ලෙස ප්‍රකාශයට පත් කරනු ඇත. අනතුරුව ප්‍රඥප්ති ආණ්ඩුකාරවරයා වෙත යවනු ලබන අතර, එතුමාගේ අනුමැතිය ලැබුණු පසු අදාළ අමාත්‍යවරයා විසින් ප්‍රඥප්තිය ආණ්ඩුකාරවරයාගේ අනුඥාව ලැබුණු දිනයේ සිට ක්‍රියාත්මක වන බව ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධ කළ යුතුය.

 

 


--------------------

දුරකථන නාමාවලිය-2024

----------------------