// බස්නාහිර පළාතේ පළාත් සභාව

0.10.1 සෙංකෝලය

 

සෙංකෝලය

ගරු සභාපතිතුමාගේ බලාධිකාරය පිළිබඳ සංකේතය වශයෙන් පවත්නා වේත්‍රය හෙවත් සෙංකෝලයක් බස්නාහිර පළාත් සභාවේ සභා රැස්වීමේදී භාවිතා කරනු ලැබේ.  සෙංකෝලය නොමැති සභා රැස්වීම් යථා යෝග්‍ය ලෙස ස්ථාපනය වන්නක් නොවේ. විශේෂයෙන්ම සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේදී වේත්‍රය සභා මේසය මත තිබිය යුතුය. ගරු සභාපතිතුමා අසුන් ගෙන සිටියදී හෙවත් සභාව රැස්ව සිටියදී, වේත්‍රයෙහි මුදුනෙහි පළිඟු කේතුව ආණ්ඩු පක්ෂය දෙසට යොමු වී සිටින සේ වේත්‍රය සභා මේසයේ රඳවා තබනු ලැබේ.

බස්නාහිර පළාත් සභාවේ සෙංකෝලය පාර්ලිමේන්තුවේ සෙංකෝලයට බොහෝ දුරට අනුකූල වන ලෙස සකස් කර ඇත. මෙහි පහළ සිට ඉහළ දෙසට නිරූපිත රටාව සැලකිල්ලට ගැනීමේදී සෙංකෝලය ආරම්භ වන ස්ථානය විකසිත වන ‍නෙළුම් මලක ස්වරූපයකින් සකසා ඇත. නෙළුම් මල පාරිශුද්ධභාවයේ සංකේතයක් වේ. නාරිලතා කැටයම් හා උඩුකුරු සහ යටිකුරුව නිර්මාණය කර ඇති බිනර මල් මෝස්තරයක්ද ඒ සමගම දක්වා ඇත.

සෙංකෝලය අතින් ඇල්ලීමට යෝග්‍ය වන ආකාරයෙන් කළුවර දැවමුවා කොටසකින්ද යුක්තය. කළුවර යනු ලංකාවට ආවේණික දැකුම්කළු ලී වර්ගයක් වන අතර එය කැපී පෙනෙන ආකාරයෙන් සකස් කර ඇත. යෂ්ටිය කොටස් දෙකකි. එහි බර කොටස දකුණතට හසුවන ආකාරයට සකස් කර ඇත. මෙහි මුල සහ අග රිදී මෝස්තරයකි. එහි ඉහළ කෙළවර බිනර මල් හා යටිකුරු වූ නෙළුම් පෙති හා පහළ කෙළවර බිනර මල් හා උඩුකුරු වූ නෙළුම් පෙති රුව දිස්වන ආකාරයට නිර්මාණය කර ඇත. මධ්‍යයේද එවැනිම නිර්මාණයකි. යෂ්ටිය මත චතුරස්‍ර ඝනයකි. එම චතුරස්‍රයේ දෙපැත්තක ඉර  සහ සඳ යොදා ඇති අතර අනෙක් දෙපැත්තේ අෂ්ටලෝක ධර්ම චක්‍රය හා පූර්ණ ඝටය නිර්මාණය කර ඇත. ඉර හඳ යනු ලෝකය පැවැත්මට හේතු සාධක වන බලවේග දෙකකි. මෙයින් අදහස් වන්නේ සදාකාලිකව හෙවත් ඉර හඳ පවතිනතාක් කල් යන්නයි.

පූර්ණ ඝටය සෞභාග්‍යයේ සංකේතයයි.  අෂ්‍ටලෝක ධර්ම චක්‍රය ෂට් දිශාවේම ප්‍රව‍ර්තනය වේය යනුවෙන් අර්ථ ගන්වයි.

චතුරස්‍ර ඝනය මත සම්ප්‍රදායික ස්ථම්භක පේකඩ නිරූපණය කරන අෂ්ටමය පේකඩක් ඇත. එහි උඩු කොටස අෂ්ට මංගල ලක්ෂණ උන්නත කොට කැටයම් කර ඇත. අෂ්ට මංගල ලක්ෂණ යනු චාමර, ග්‍රිවත්ස්‍ය, පූරණ ඝට, ශංඛ, භද්‍ර, පීඨ, මීන යුගල, ස්වස්ථිකය හා අංකුස වේ.

මේවා නිවසක හෝ රටක පදිංචි චිරාගතව පැවත එන පුරවැසියන්ගේ අභිවෘද්ධිය, නිරෝගීභාවය, වාසනාවන්තභාවය සඳහා ඉදිරිපත් කරනු ලබන ලකුණු අටකි.

පේකඩ යනු ගම්පල ‍යුගයේ වාස්තු විද්‍යා කටයුතුවල මූලික ලක්ෂණයක් වන අතර එහි හතර පැත්තෙන් කුළුණු සිට කවාකාරව පහළට විහිදෙන පලාපෙති මෝස්තරයකින් නිරූපණය වේ.

ඊළඟට දිස් වනුයේ බස්නාහිර පළාත දිස්ත්‍රික්ක තුනකින් සමන්විතව ඇති ආකාරය නිරූපණය වන සේ සත්වයන් ‍තිදෙනෙක් සංකේතවත් වන ගෝලයන් තුනකි. එහි කොළඹ දිස්ත්‍රික්කය නිරූපණය සඳහා කසය අතින් ගත් සිංහ රුවක්ද, ගම්පහ දිස්ත්‍රික්කය නිරූපණය සඳහා පෙන තුනක් සහිත නාග රූපයක්ද , කළුතර දිස්ත්‍රික්කය නිරූපණය සඳහා ගුරුලෙකුගේ රූපයක්ද යොදා ඇත.

මෙහි ගෝලාකාර කොටසින් විශ්වය නිරූපණය කරයි. ඊට ඉහලින් උඩුකුරු හා යටිකුරු පලාපෙති සහිත කොත් කැරැල්ලකි. ගෝලය මත ශ්‍රී ලාංකීය ජාතිය නිරූපණය කරමින් අසිපතක් අතින් ගත් සිංහ රුවක් දක්වා ඇත. ඊට ඉහළින් පළිඟුවක් යොදා අලංකාර ලෙස නිමවා ඇති කොටසින් විශ්වයේ අනන්තය දක්වා මෙම සෙංකෝලයේ සංකේතවත වන බලය හෙවත් ශක්තිය විහිදී යන ආකාරය නිරූපණය වේ.

බස්නාහිර පළාත් සෙංකෝලයේ මූලික ලක්ෂණ පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී එහි දිග ප්‍රමාණය අඟල් 48 කි. ‍යොදා ඇති ඛනිජ වර්ගය රිදී නූල්ය.  කළුවර ලීයෙන් නිමවා ඇති යෂ්ටියට අමතරව ගෝලාකාර කොටස රිදී නූල් ‍ගේජ් 18 භාවිතා කරමින්ද නිර්මාණය කර ඇත. නිර්මාණය කරන ලද අවස්ථාවේ (1998 ජනවාරි 27) මෙහි සම්පූර්ණ වටිනාකම රු. 275,000.00 කි.

අප දීර්ඝ ශිෂ්ටාචාරයක් ඇති ජාතියක් බැවින් ඉර හඳ සලකුණු පමණක් නොව පෞරාණික සැරසිලි සහ වෙනත් සංලක්ෂණවලින් ‍‍තෝරාගත් සලකුණු පමණක් භාවිතා කරමින් සභාවට ගම්භීරත්වයක් නිරූපණය වන ආකාරයෙන් බස්නාහිර පළාත් සභා‍වේ සෙංකෝලය මෙලෙස නිර්මාණය කර ඇත.

මෙම සෙංකෝලය කලාශූරී විමල් සුනේද්‍ර මහතාගේ නිර්මාණයකි. බස්නාහිර පළාත් සභාවේ සෙංකෝලය නිර්මාණය කිරීමේ කමිටුවේ සාමාජිකයන් ලෙස මහාචාර්ය මෙන්දිස් රෝහණධීර මහතා, පූජ්‍ය හන්දු පැල්පොල මහින්ද නාහිමි, සිරිමල් ලක්දුසිංහ මහතා, කලාශූරී එච්. ජී. චාල්ස් මහතා සහ දයා වනිගතුංග මහතා කටයුතු කරන ලදී.

 

.

0.2හැඳින්වීම

1987 වර්ෂයේදී සම්මත කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රී ලංකාවේ යම් පලාතක පිහිටුවන ලද පළාත් සභාවක් යනු, එම පළාතේ දිස්ත්‍රික්ක මට්ටමින් නියෝජනය වන පරිදි මහජන ඡන්දයෙන් තෝරා පත්කර ගනු ලබන ජනතා නියෝජිතයින්ගෙන් සමන්විත වූද, ප්‍රජාතාන්ත්‍රික අයිතීන්ට ගරු කරන්නා වූද, ව්‍යවස්ථාපිත ආයතනයකි.

බස්නාහිර‍ පළාතේ පළාත් සභාවේ ප්‍රථම පළාත් සභාව 1988 වසරේදීද, දෙවන පළාත් සභාව 1993 වසරේදීද, තෙවන පළාත් සභාව 1999 වසරේදීද, හතරවන පළාත් සභාව 2004 වසරේදීද පිහිටුවන ලදී.

බස්නාහිර පළාතේ පළාත් සභාව කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක තු‍නෙන් තෝරා පත් කර ගන්නා මන්ත්‍රීවරුන් 102 ක් හා ප්‍රතිලාභ ආසන වශයෙන් පත් කර ගන්නා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගෙන්ද සමන්විතය.

භූමි ප්‍රමාණයෙන් කුඩාම පළාත් සභාව වුවත්, නියෝජිතත්වය දරන මන්ත්‍රීවරු සංඛ්‍යාව අනුව බලන කළ, එය දිවයිනේ අනිකුත් පළාත් සභා අතුරින් ප්‍රමුඛ ස්ථානයක් ගන්නා අතරම මෙරට පවතින සියළුම ප්‍රජාතාන්ත්‍රික මහජන නියෝජිත ආයතනයන් හා සසඳා බලන කළ නියෝජිත සංඛ්‍යාව අනුව එය දෙවැනි වන්නේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පමණි.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය සමග සසඳා බලන කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජිත සංඛ්‍යාව ශ්‍රී ලංකාවේ පළමුවැනි, දෙවැනි, තෙවැනි පාර්ලිමේන්තුවල නියෝජිත සංඛ්‍යාවද අභිභවා සිටිති.

එමෙන්ම මෙම පළාත් සභා බල ප්‍රදේශය තුළ ජනගහණය අතින් ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහණයෙන් 28% ක් පමණ නියෝජනය කිරීමත් රටේ පරිපාලන අග නගරය මෙන්ම වාණිජ අග නගරය ඇතුළු ප්‍රධානතම නගර කීපයක්ම පිහිටා තිබීමත්, එහි බහු වාර්ගික, බහු ආගමික, නාගරික මෙන්ව ග්‍රාමීය ජනතාවක් වාසය කිරීමත් නිසා අනිකුත් පළාත් සභාවන්ට වඩා බස්නාහිර පළාත් සභාව සුවිශේෂත්වයක් ගන්නා බව පෙනේ.

පළාත් සභාවේ කටයුතු සභාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. පාර්ලිමේන්තු ස්ථාවර නියෝගයන්ට සමාන කාර්ය පටිපාටි රීති මාලාවක් මගින් සභාවේ කටයුතු පාලනය කරනු ලබයි.

0.3සභාවේ කටයුතු

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට සමානව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය යන කණ්ඩායම් දෙක අතර සාකච්ඡා හා විවාද මගින් සම්මුතීන්ට එළඹීමෙන් සභාව පළාත් අවශ්‍යතාවයන් පිළිබඳ තීරණ ගනු ලබයි.

පළාත් සභා‍වේ කර්තව්‍යයන් පහත සඳහන් පරිදි කෙටියෙන් සම්පිණ්ඩනය කර දැක්විය හැකිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බලතල පැවරී ඇති විෂයයනට අදාළ පළාතේ විවිධ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම හා පරිපාලනමය අවශ්‍යතාවයන්ට අදාළ වන නීති , ප්‍රඥප්ති සම්මත කිරීම.

පළාතේ මූල්‍ය පාලනයට අදාළ වන්නා වූ පළාත් සභාවේ වාර්ෂික මුදල් ප්‍රකාශය විවාද කර සම්මත කර ගැනීම.

පළාතේ විවිධ අවශ්‍යතාවයන් හා පරිපාලනයට අදාළ වන්නා වූ යෝජනා හා අදහස් ඉදිරිපත් කර විවාද කිරීම මගින් තීරණයන්ට එළඹීම

පළාතේ විධායක බලතල ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැන නගින කරුණු සම්බන්ධයෙන් අමාත්‍යවරුන්ට පැවරී ඇති විෂයන්ට අදාළව ප්‍රශ්න කිරීම, එමගින් ඔවුන්ගේ අධිකාරිය යටතේ පවත්නා කාර්යයන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවධානය යොමු කිරීම.

පළාත් සභාව වෙත පැවරී ඇති විෂයන් සම්බන්ධයෙන් හා සමගාමී ලැයිස්තුවට අදාළ විෂයයන්ට අදාළව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබන නීති කෙටුම්පත් සම්බන්ධයෙන් සභාවේ අදහස් සාකච්ඡා කර තීරණයක් ජනාධිපතිතුමා/ පාර්ලිමේන්තුව වෙත දන්වා යැවීම.

පොදුවේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව පළාත‍ට අදාළ විවිධ කාර්යයන් පිළිබඳව තීරණ ගැනීම සඳහා පළාතේ මහජනයා විසින් බලය පවරා ඇති නියෝජිතයන්ගේ සාකච්ඡා මණ්ඩපයක් ලෙස කටයුතු කිරීම.

ඉහත සඳහන් කර්තව්‍යයන් ඉටු කිරීමෙහිලා පළාත් සභාව කටයුතු කළ යුතු වන ආකාරය පිළිබඳව නීතිමය මඟ පෙන්වීම හා සීමාවන් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හා 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ දක්වා ඇත. ඊට අමතර‍ව බස්නාහිර පළාතේ පළාත් සභාව එහි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව නිසි මඟ පෙන්වීමක් සභාව විසින් සම්මත කර ඇති කාර්ය පටිපාටි රීති මාලාවෙහිද ඇතුළත් කර ඇත.

 

.

 


--------------------

දුරකථන නාමාවලිය-2024

----------------------